Nov 15, 2014
- Saturday, November 15, 2014
- Unknown
- horoscope
- No comments
වර්තමාන සමාජය තුළ පෙරට වඩා ජොතිර්වේදය පිළිබඳ දැඩි උනන්දුවක් පහළ වී තිබේ. ඊට හේතු කාරණා කුමක් වුවත් සිය ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමට ජොතිෂවේදීන් ළඟට එන පිරිසෙන් බොහෝ දෙනකු පවසන්නේ තම කේන්දරයේ සිටින ග්‍රහයන්ට අනුව තමන්ට නිසි ඵල නොලැබෙන බවයි.
"බලන්නකො මගෙ දුවගෙ කේන්දරේ සිකුරු හතේනේ. ලස්සනෙත් අඩුවක් නෑ. ඒත් කසාදයක් හරියන්නෙ නෑනෙ."
"මම හිතුවා කේන්දරේ හැටියට මට ලොකු ධනයක් හම්බ වෙයි කියලා. ඒත් නෑනේ."
මේ ආදී වශයෙන් බොහෝ දේ කියාගෙන පැමිණෙන පුද්ගලයෝ ඒ කියමන්වලට පාදක කරගන්නේ තමන්ගේ කේන්දරයේ පිහිටා සිටින ග්‍රහයන්ය. නමුත් ඔවුන්ගේ තර්කවල සත්‍යතාවයක් නොමැති බව වැටහී යන්නේ මනා ලෙස කේන්දරය පරීක්ෂා කරන විටය.
සිකුරු හතේ සිටි පලියටම ඉතා ඉක්මනින් හොඳ විවාහයක් නොලැබේ. මේ මතයේ සිටින අයට කිවයුත්තේ "සිකුරු හතේ" චිත්‍රපටයට වඩා "සිකුරු හතේ" නම් ටෙලි නාට්‍යය සොයාගෙන යළි බලන්නට කීම පමණි. කේන්දරයක ග්‍රහයන් සිටින තැන අනුවම ඔවුන්ට එම ග්‍රහයාගේ සුබපල හො අසුබ පල ළඟා නොවේ. නිසි පලාපල ලැබීමට නම් ඒ කේන්දර හිමියා ගෙවනු ලබන මහ දශාව, අනු දශාව හා ලග්නාධිපතියා සිටින තැන ඉතා වැදගත් වේ.
ඕනෑම තැනකදී කොපමණ පිරිසක් සිටියද යමක් මෙහෙයවීම සඳහා අධිපතියෙකු සිටිය යුතුය. ඔබේ කේන්දරයේ ගුණ අගුණද මෙහෙයවන්නේ අධිපතියකු විසිනි. මුලින්ම ඔබ කළ යුතු වන්නේ ඔබේ ලග්නයට අධිපති ලග්නාධිපතියා කවුරුන්ද යන්න නිවැරදිව සොයා ගැනීමයි.
මේෂ, වෘශ්චික ලග්නවලට ලග්නාධිපතියා කුජය. වෘෂභ හා තුලාවට සිකුරුය. මිථුන, කන්‍යා දෙකට බුධය. කටකයට සඳුය. සිංහයට රවිය. ධනු හා මීන ලග්නවල ලග්නාධිපතියා ගුරුය. මකර හා කුම්භ ලග්නවලට ශනිය.
රාහු, කේතු, යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයන්ට රාශියක් හිමිවන්නේ නැත.
ඔබ ඔබේ ලග්නාධිපතියා නිවැරදිව හඳුනා ගැනීමෙන් පසුව ඒ ලග්නාධිපතියා ඔබේ කේන්ද්‍රයේ තැන්පත්ව සිටින්නේ කුමන භාවයකද යන්න ද නිවැරදිව බලාගත යුතුය. අනතුරුව ඔබේ කේන්දරයේ ලග්නාධිපති පිහිටීම අනුව මේ මේ ගති ලක්ෂණයන් හා සුබාසුබ ඔබට උදාවූයේ යෑයි ද සලකා බලන්න.
ලග්නාධිපතියා සිටින්නේ පළවෙනි භාවයේ නම්,
එනම් ලග්නයේම නම් ඔබට ඇති බොහෝ දෝෂ භංගවී යයි. දියුණුව සැලසෙනු ස්ථිරය. තමන්ගේ උත්සාහයෙන් දියුණු වන්නේය. ස්ත්රීන්ට බොහෝ ප්‍රිය වෙයි. ආත්ම ගෞරවය රැකගෙන ක්‍රියා කරයි. මෘදු සිත් ඇත්තෙකි. අන්‍යයන්ට උදව් කරයි.
ඔබේ ලග්නාධිපතියා සිටියේ දෙවැන්නේ නම්
ඔබ කරන දෙයින් ඔබට ලාබ ලැබේ. සූර කෙනෙක් වෙයි. එක් තැනකදී වැරදුනුවිට අලුත් තැනකින් පටන් ගනියි. සීලවන්ත භාවයක් ඇත. නමුත් පණ්ඩිතයෙක් වේ. යුක්ති ගරුකය. කාමභෝගී ලෙස ජීවිතය ගෙන යයි.
ලග්නාධිපතියා තැන්පත් වී සිටින්නේ ඔබේ කේන්දරයේ තුන්වැන්නේ නම්
සතුරන් මැඬලීමේ ශක්තියක් ඔබට තිබේ. නුවණ ඇත්තෙකි. අඩු වයසේදී විවාහ වෙයි. සොයුරු සොයුරියන්ට ආදරය කරයි. රාශියේ ග්‍රහයාගේ හැටිය අනුව ඒ ඒ තැන්වල ගමන් කරන විට ඒ තැනට හිමි රෝග ඔබට සාදයි.
කේන්දරයේ හතර වැන්නේ ඔබේ ලග්නාධිපතියා ස්ථානගතවූ විට
ඉඩකඩම් ගෙවල් දොරවල් ලැබේ. රැකියාවක් ලැබෙනුයේ උසස් එකකි. වීරිය වන්තයෙකි. ස්ථිර වාසස්ථානයක් ඇති අයෙකි. අසල්වැසියන්ගේ ගෞරවයට පාත්රවේ. අන්‍යයන්ට සලකන කෙනෙකි.
ලග්නාධිපතියා සිටිනුයේ පස්වැන්නේ නම්
දරුවන්ට එතරම් ගුණයක් නැත. පළමු දරුවා පිරිමි දරුවෙක් වන්නේ නම් ඔහු මියයන්නට ඉඩ ඇත. පහසුවෙන් මුදල් උපයා ගනී. නිර්ලෝභී නිසා ධනය අඩුවැඩි වෙයි. ලොතරැයි, මැණික් ආදී දේවලින් හදිසි ධනය ලැබේ. පුත්‍ර ලාබ අඩුය.
හයවැන්නට ලග්නාධිපතියා ස්ථාන ගතවී ඇත්නම්
ඔබ එඩිතරය. සතුරන් මෙල්ල කරයි. සමාජ ගරුත්වයක් ලබා ගනියි. ධනයට වඩා සමාජ ප්‍රසිද්ධියක් ලබන්නේ වෙනත් අංශයකිනි. නමුත් ඔබ ඔබේ ශරීර සෞඛ්‍යය ගැන ඉතා ප්‍රවේශම් විය යුතුය. පහසුවෙන්ම ලෙඩ රෝග ඔබ සොයාගෙන පැමිණේ. අදාළ ග්‍රහයාට අනුව ඒ ඒ රෝග තීරණය වේ.
ලග්නාධිපති සිටින්නේ හත්වැන්නේ නම්
කාලාත්‍රයාට අපලය. පුරුෂ වීර්ය හීන වන්නෙකි. තම මතයම අනුව ක්‍රියාකිරීමට ගොස් අමාරුවේ වැටෙයි. මේ නිසා ඔබේ ලග්නාධිපතියා සිටින්නේ හතේ නම් සෑම විටම ඔබ බුද්ධිමත් හා බහුශ්‍රැත පුද්ගලයන් ඇසුරු කිරීමට සිතා ගත යුතුය. අවවාද අනුශාසනා නොපිළිපදින්නේ නම් අමාරුවේ වැටෙන අවස්ථා එමටය. ජයට වඩා පරාජයන් බොහෝය.
අටවැන්නට ඔබේ ලග්නාධිපති ස්ථානගතවී ඇත්නම්
ඔබ සූදු කෙළියේ දක්ෂයෙකි. සූදු අන්තුවෙකි. දූෂිත චරිතයක් හිමි පුද්ගලයෙකි. පරදාර සේවනයට රුචි අයෙකි. නඩු හබවලට පැටලේ. බොහෝ විපත් ගෙන දෙයි. දුර්වල සෞඛ්‍ය තත්ත්වයකට උරුම කම් කියයි. අන්‍යයන්ගේ ධනය කෙසේ හෝ හිමිකර ගනියි. නපුරු සිතක් ඇත්තකු වෙයි. මේ පිහිටීම කාන්තාවකට කිසිසේත් නොගැලපෙන ග්‍රහ පිහිටීමකි.
ලග්නාධිපති නව වැන්නේ සිටින ඔබ
උගත් බුද්ධිමත් අයෙකි. ශ්රස්ත්රවන්තයෙකු ලෙස ඔබ ප්‍රසිද්ධියට පත්වෙයි. විශාල ධනයක් නොමැති අයකු වුවද ඉතා සුව පහසු ජීවිතයක් ඔබ ගත කරයි. යුතුකම් නොපිරිහෙලා ඉටු කරන පුද්ගලයකු බවට පත්වෙයි. පිනට දහමට ලැදි අයෙකි. යහපත් ලෙස මැරී යහපත් තැනක උපදී
ඔබේ ලග්නයේ ලග්නාධිපති තැන්පත්ව ඇත්තේ දහයෙහි නම්
උරුමයෙන් ඔබට ඉඩම් ලැබේ. නිශ්චල චංචල දේපළවලට උරුමකම් කියයි. සාර්ථක මෙන්ම හොඳ රැකියාවක් ඔබට ලැබෙනු ඇත. මනා ශරී සෞඛ්‍යයකින් ඔබ ජීවත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රියමනාප වෙයි.
එකොළොස් වැන්නෙහි ලග්නාධිපතියා තැන්පත්වන පුද්ගලයෝ
ධාර්මික ලෙස දිවි ගෙවන පිරිසකි. ගලාගෙන එන ධනයකට නෑකම් කියයි. ලැබෙන ධනය ධාර්මිකය. අඛණ්ඩය. යුතුකම් මනාව ඉෂ්ට කරයි. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආශාවක් දක්වයි.ඔබට ඉතා සුවිශේෂී ඥානයක් හිමිවේ.
ලග්නාධිපති දොළොස්වන භාවයෙන් තැන්පත්වූ විට
හදිසි ධන ලාභවලට වාසනාවක් ඇත. ආදායම සරු වුවද නිතර නිතර ආර්ථික අගහිඟකම් ඇතිවේ. නීතිමය ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙසේ වන්නේ බොහෝ විට ඔබට ධනය ලැබෙන ක්‍රම නීත්‍යනුකූල නොවීමත්, නීත්‍යනුකූල ව්‍යාපාරවලටත් සම්බන්ධවීම නිසාය. අනියම් සම්බන්ධකම් නිසා චරිතය කැළැල් කර ගනී. මේ ආදී වශයෙන් ඔබේ ලග්නයේ ලග්නාධිපති තැන්පත්වන ස්ථානය අනුව ඔබට සුබ මෙන්ම අසුබ ඵල ගෙන දෙනු ඇත.
ලග්නාධිපතියා වන ග්‍රහයාගේ බලසම්පන්නකම හා දුර්වලකම මත ඔබට ඒ ඒ කාලවලදී මෙම ඵල විපාක විඳීමට සිදුවෙයි. ඒ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සිටීමෙන් ඔබේ ජීවිතයට එල්ලවන අසුබපලවලින් ඔබට මිදිය හැකිය
ජොතිර්වේදි
දිනසේන රතුගමගේ
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Thank you!You'll be received a answer soon if you have problem.