Nov 22, 2014

සන්ධාන මන්ත්‍රීවරු හදිස්සියේ රැස්වෙති
පනින්නට තවත් කට්ටියක්


දේශපාලන ලෝකයේ ජනප්‍රිය කියමන් කිහිපයක් තිබේ. එකක් වන්නේ දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නොමැති බවය. අනෙක වන්නේ දේශපාලනයේ සතියක් යනු දීර්ඝ කාලයක් යන්නය. දේශපාලන ලෝකයේ කියමන් පසුගිය සතියේදී සැබෑවක් බවට පත්විය. ඒ දේශපාලන පසමිතුරන් වූ බලවේග එකට එක්වීමය. අනෙක සතියක් වැනි කෙටි කාලයක් තුළදී දේශපාලන ලෝකයේ සිදුවූ වෙනස්කම්ය.
පසුගිය මාස කිහිපය පුරාම රටේ දේශපාලනයේ සාකච්ඡා වූයේ ‍පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්නයි. සැඟවුණ අමුත්තෙක් වූ ‍පොදු අපේක්ෂකයා  පසුගිය සතියේදී කරළියට පැමිණියේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් මෛත්‍රීපාල සිරිසේනය.
මෛත්‍රීපාල සිරිසේන කාලයක් අගමැති සිහිනය සිතේ තබාගෙන සිටි දේශපාලනඥයෙකි. 2010 වසරේදී පැවැති මහ මැතිවරණයේදී ඔහු සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ “මෛත්‍රී යුගයකට මුල පුරමු” යැයි පවසමිනි. අගමැති ධුරය ලබාගනිමින් මෛත්‍රී යුගයක් බිහි කිරීමට ඔහු සිහින දුටුවත් ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අගමැති සිහිනය සිහිනයක්ම පමණක් වූ නිසාය. අගමැති සිහිනය ඔහුට දැනෙන්නට ගත්තේ 2004 වසරේ සිටය. 2004 ආණ්ඩුවේ අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ, ලක්ෂ්මන් කදිර්ගාමර් හා මෛත්‍රීපාල සිරිසේනගේ නම් යෝජනා වූ විට මෛත්‍රී ස්ව කැමැත්තෙන්ම එම සිහිනය අතහැර දැමුවේ මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබාදිය යුතු බව පවසමිනි.
පසුගිය සති කිහිපයේදීම මෛත්‍රී රහස් කතා බස් රැසකටම එක්විය. ඒ සෑම කතාබහක්ම රහසිගත සාකච්ඡා වූ අතර ඒවා කිසිවක් ප්‍රසිද්ධියට පත්වූයේ නැත. මේ දේශපාලන සාකච්ඡාවලට මුල පුරා තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ඇය සමග රහස් සාකච්ඡා පවත්වන අතරවාරයේදී ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ ආණ්ඩුවට දැනෙන අදහස් ඉදිරිපත් කළේය. ආණ්ඩුවේ ඇතැම් පිරිස් විවේචනය කරන ආකාරයේ ප්‍රකාශ ඔහු කිරීම ගැන සෑම දෙනාගේම අවධානය යොමුවිය. ආණ්ඩු පක්ෂයේ පිරිසක් විපක්ෂයට එක්වන බවට අදහස් මතුවූ විට ඒ නම් අතර ඉහළින්ම මෛත්‍රීගේ නමත් කියවිණි.
මෛත්‍රී ආණ්ඩුවෙන් ඉවත් වන බවට පැතිර ගිය කතාවලට තටු ලැබුණේ ඔහු සිය අමාත්‍යාංශ කාර්යාලයේ තිබූ පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගැනීමට පටන්ගැනීමත් සමගය. පසුගිය සතියේදී  ඔහු සිය කාර්යාලයේ තිබූ පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරගෙන ඇති බවට තොරතුරු ලැබුණ පසුව ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේ හිටපු පුවත්පත් කතුවරයෙක් වන ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාදාස සූරිආරච්චිගේ අවමඟුල් උත්සවයේදීය.
“ඔබතුමා ආණ්ඩුවෙන් යනවා කියලා කටකතාවක් යනවා” එතැන සිටි මාධ්‍යවේදියෙක් මෛත්‍රීගෙන් ඇසුවේය.
“ඔව් ඉතිං කට කතානම් යනවා තමයි“ ඇඟට පතට නොදැනී මෛත්‍රී කීවේ ආණ්ඩුවෙන් යන බවට වන කතා  ප්‍රතික්ෂේප නොකරමිනි. ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනවාදැයි ඇසූ විටත් ඔහු සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. ඇසූ සෑම ප්‍රශ්නයකටම ඔහු කීවේ කට කතා යන බව පමණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූයේද මෛත්‍රී ආණ්ඩුවෙන් යන බවට කටකතා පැතිර යමින් තිබෙන විටදීය. ජනාධිපතිවරයාගේ උපන් දිනයටද සමගාමීව පැවැති මධ්‍යම කාරක සභාවට මෛත්‍රී පැමිණෙන විට සිය සගයින් “මෙන්න ‍පොදු අපේක්ෂකයා එනවා” යැයි කියන විටත් මෛත්‍රී සිනා මුසුව සිටියා මිස කිසිවක් කීවේ නැත.
මධ්‍යම කාරක සභාව ආරම්භයේදීම ජනාධිපතිවරයා කේක් ගෙඩියක් කැපුවේ සිය උපන් දිනය වෙනුවෙනි. කේක් ගෙඩිය කැපූ ජනාධිපතිවරයා බැලුවේ කේක් කවන්නේ කාටද කියාය.
“කෝ අපේ මහ‍ලේකම්තුමා. මහ‍ලේකම්තුමාටනේ මුල්ම කෑල්ල කවන්න ඕන”යැයි කියූ ජනාධිපතිවරයා මුල්ම කේක් කැබැල්ල මෛත්‍රීට කැව්වේය.
බැසිල් මෛත්‍රීට කී කතාව
මෛත්‍රී ආණ්ඩුවෙන් යන බවට කටකතා පැතිරයාමත් සමග ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිපදෙනෙක්ම ඔහු හමුවට පැමිණියේය. ඒ පැතිර යන කට කතා ගැන විමසීමටත් අගමැති ධුරය ලබාගන්නා ලෙස දැනුම්දීමටත්ය. එහෙත් මෛත්‍රී අගමැති ධූරය ලබාගැනීමට කිසිදු කැමැත්තක් දක්වා තිබුණේ නැත. ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණේ ආණ්ඩුවේ තනතුරු තමන්ට ලබාගැනීමට අවශ්‍ය නොවන බව පවසමිනි.
කෙසේ වෙතත් බැසිල් - මෛත්‍රී හමුව සිදුවූයේ නැත.
‍පොදු අපේක්ෂකයා ගැන කතා බහ සැඟවුණ අමුත්තෙකුගේ තත්ත්වයට පත්ව තිබෙන විට ඒ ගැන ඉඟියක් දුන්නේ නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාය. බ්‍රහස්පතින්දා දිනයේදී පාර්ලිමේන්තුවේදී පැවැසුවේ රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බවය.
“‍පොඩ්ඩක් ඉවසලා ඉන්න. අපේ අපේක්ෂකයා එළියට දැම්මම ඔයාලගේ ඇඟ කිළි‍පොලා යාවි” නලීන් බණ්ඩාර කියන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරු පුදුමයට පත්ව බලා සිටියහ. ඔහු කියා  තිබුණේ මෛත්‍රී ගැනය. එහෙත් මෛත්‍රී සිකුරාදා සවස් වන තෙක්ම ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් සිකුරාදා උදෑසන පැවැති උත්සවය අවසානයේදීද ඔහු ඉඟි පළ කළත් ස්ථිරව කිසිවක් ප්‍රකාශ කළේ නැත.
“‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්න තීරණයක් ගෙන තියෙනවාද?”පිරිස ප්‍රශ්න කළහ.
“තවම තීරණයක් නෑ. ආණ්ඩුවෙන් යනවාද කියලා කියන්න බෑ”මෛත්‍රී කීවේ සිනාමුසුවය.
“අද හෙටම ආණ්ඩුවෙන් යනවා කියලා කියනවා. ඒක ඇත්තද?” නිසි පිළිතුරක් නොලැබුණ විට පිරිස නැවත විමසූහ.
“හෙට දවසේ මොනවා වෙනවාද කියලා කියන්න බැහැ. කාලයට ඉඩ දෙමු. කාලය විසින් සියල්ල තීරණය කරාවිනේ. කාලයට වැඩිපුර ඉඩ දෙන්නත් බෑනේ”යැයි සිනාවකින්ම පිළිතුරු දුන් මෛත්‍රී පිටත්ව ගියේය.
එම උත්සවය අවසන් කළ මෛත්‍රී ගියේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිස ටික වේලාවක් සිටි ඔහු පාර්ලිමේන්තු කොරිඩෝවට පැමිණියේ ඔහුගේ දේශපාලන ගමනේ වැදගත් තීරණයක් ප්‍රකාශ කිරීමට යාමටය. එහෙත් ඔහුට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බේරී යාමට නොහැකි විය. විපක්ෂයේ මන්ත්‍රීවරු ඔහු වටකරගෙන සුබපතන්නට වූයේ ඒ වන විටත් විපක්ෂයේ ‍පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව තීරණය කර තිබිම නිසාය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුබපැතුම් ලබාගනිමින් සිටින විට ඔහු අසලට පැමිණියේ රාජිත සේනාරත්න ඇමැතිවරයාය. රාජිත කළ ඉඟි කිරීමකින් පසුව පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් එළියට පැමිණි මෛත්‍රී තමන්ගේ වාහනයට නැග පිටත්ව ගියේය. ඒ සමගම රාජිතද පැමිණ පිටත්ව ගියේය. ඔවුන් පැමිණියේ වැදගත් දේශපාලන තීරණයක් ප්‍රකාශයට පත් කිරීමටය.
මෛත්‍රී, රාජිත පැමිණියේ නව රඟහලටය. ඔවුන් සමග දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන,  සහ මහාචාර්ය රජීව් විජේසිංහ යන තිදෙනා පැමිණියහ. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමටය. ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ වනවාත් සමගම දේශපාලන කරළිය පිටුපස සිටිමින් යම් කාර්යභාරයක් කළ අයෙක්ද පැමිණියේය. ඒ චන්ද්‍රිකාය.
එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ පරිදි ‍පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමට  තමන් සූදානම් බවත් අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්කරගන්නා බවත් මෛත්‍රී කීවේ අනාගත දේශපාලනයේ ඇතිවිය හැකි වෙනස්කම් මොනවාදැයි යන්න ගැන ඉඟි පළ කරමිනි.
‍පොදු අපේක්ෂකයා
තෝරාගත් හැටි
මෛත්‍රී ‍පොදු අපේක්ෂකයා ලෙස පත්කිරීමේ තීරණය ගත්තේ පසුගිය සතියේදී පැවැති සාකච්ඡාවලින් පසුවය. මේ ගැන අවසන් වටයේ පළමු සාකච්ඡාව පැවැත්වුණේ පසුගිය සඳුදාය. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ටොරින්ටන් මාවතේ පිහිටි චන්ද්‍රිකාගේ නිවසට ගියේ මලික් සමරවික්‍රම සමගය. ඒ ‍පොදු අපේක්ෂකයා ගැන තීරණයක් ගැනීමටය. ‍පොදු අපේක්ෂකයා ගැන කතාබහ කිරීමෙන් පසුව රනිල් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කමිටුව හමුවට පැමිණියේය. එහෙත් ඒ වන විටත් ‍පොදු අපේක්ෂකයා ගැන අවසන් තීරණයක් ගැනීමට නොහැකිවී තිබුණි.
“අපි ඉදිරි ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. අපේක්ෂකයා ගැන අපට කඩිනමින්ම තීරණයක් ගැනීමට සිදුවෙනවා”රනිල් පැහැදිලි කළේය.
‍පොදු අපෙක්ෂකයා ගැන කතා බහ සිදුවන විට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා  නැගී සිටියේය.
අපි ජනප්‍රිය අයෙක් ‍පොදු අපෙක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න ඕනකිරිඇල්ල යෝජනා කළේය.
නළු නිළියෝත් ජනප්‍රියයිනේ. එහෙනම් අපි පබාව ගෙනත් දාමුඑක්සත් ජාතික පක්ෂ මහ ‍ලේකම් තිස්ස අත්තනායක යෝජනා කළේ කාගේත් සිනා හඩ මැදය.
එදිනත් ‍පොදු අපේක්ෂකයා ගැන කතා කිරීමෙන් පසුව මලික් සමරවික්‍රම සමග රනිල් හොංකොං බලා පිටත්ව ගියේය. හිතවතකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වන බව පවසමින් විදේශගතවූ රනිල් ගියේ සිංගප්පූරුවටය.  රනිල් සිංගප්පූරුවට යන විට චන්ද්‍රිකාද එහි ගොස් සිටියාය. එහිදී වැදගත් තීන්දු තීරණ රැසක්ද ගැනීමට ඔවුහු සමත්වූහ.
මෙරටදීත් විදෙස් රටවලදීත් ‍පොදු අපේක්ෂකයා ගැන තීරණ ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුව සිකුරාදා උදෑසන රැස්විය. ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමකින් පසුව ආරම්භවූ මේ රැස්වීමේදී ‍පොදු අපේක්ෂකයා  කවුරුන්දැයි යෝජනා කළේ රනිල්ය.
“‍පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන නම් කරමු”රනිල් යෝජනා කළේය. එහෙත් සජිත් ප්‍රේමදාස එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
“මෛත්‍රීපාල සිරිසේන නම් කළාය කියලා පක්ෂයක් විදියට අපිට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද?”සජිත් ප්‍රශ්න කළේය.
“මේ වෙලාවේදී ආණ්ඩුව වෙනස් කළ හැකි අයෙක් පත් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි කැපකිරීමක් කරමු”මන්ත්‍රීවරු පැහැදිලි කරන විට සජිත්ද එයට එකඟ විය.
රාහු කාලයට පෙර කළ දේ
ජනාධිපතිවරයා සිය තෙවැනි ධුර කාලයට පත්වීම සඳහා මැතිවරණයක් කැඳවීම ගැන පැවැති ආන්දෝලනයට පසුගියදා විසඳුම් ලැබුණේය. ඒ නැවත වරක් ජනමතය විමසීමට තමන්ගේ ඇති අභිලාෂය ගැන ජනාධිපතිවරයා ගැසට් නිවේදනයට අත්සන් තැබිම නිසාය. බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිවරයා සිටියේ බත්තරමුල්‍ලේ අලුතින් ඉදිකළ මහාමාර්ග අමාත්‍යාංශ ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.
“මට හෙට ඉඳලා බොක්සිං තරගයකට යන්න තියෙනවා. හැබැයි මට ෂැඩෝ බොක්සිං තරගයකටයි යන්න වෙලා තියෙන්නේ. මම තුන්වැනි වරටත් මැතිවරණයකට ඉදිරිපත්වීමට නිවේදනයට අත්සන් තියනවා. මට මහාමාර්ග බොහෝම සමීපයි. මොකද 2005 අවුරුද්දේදී මැතිවරණයට ඉදිරිපත්වීමට ගැසට් නිවේදනය නිකුත් කළෙත් දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල් ගල් තියලා ඇවිත්”ජනාධිපතිවරයා පැවැසුවේය.
ජනාධිපතිවරයා මහා මාර්ග ගැනත් ඉදිරි ජනාධිපතිවරණය ගැනත් කතා කරමින් සිටින විට වේලාව යනු දැනුණේ නැත. ඒ බව මතක් කළේ උත්සව සභාවේ සිටි අයෙකි.
“සර් වෙලාව” උත්සව සභාවේ සිටි අයෙක් කියන විට “මට මෙතැනට ආවාම වෙලාවත් අමතක වෙනවා. මම අත්සන් කරන්න වෙලාවට යන්න ඕනනේ” කියූ ජනාධිපතිවරයා ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණියේය. ඒ ජනාධිපතිවරණයකට යෑමේ සූදානම පිළිබඳ ගැසට් නිවේදනයට අත්සන් කිරීමටය.
එම ගැසට් නිවේදනය අත්සන් කර මැතිවරණ කොමසාරිස්වරයාටත් රජයේ මුද්‍රණාලයාධිපතිවරයාටත් යැවිය යුතුව තිබුණි. ඒ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන්ය. සුබ මුහුර්තියකින් ගැසට් නිවේදනයට අත්සන් තැබූ ජනාධිපතිවරයා වහාම එය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන්නැයි උපදෙස් දුන්නේය. රාහු කාලය දහවල් එකයි තිහට යෙදී තිබුණ නිසා ඊට පෙර අදාළ නිවේදන යැවිය යුතුව තිබුණි. වහාම ක්‍රියාත්මක වූ මැතිවරණ ‍ලේකම් කාර්යාලයේ නිලධාරීහු එය ෆැක්ස් මාර්ගයෙන් මැතිවරණ ‍ලේකම්වරයාට යැව්වේය. කෙසේ හෝ රාහු කාලයට පෙර අදාළ නිවේදන මැතිවරණ කොමසාරිස්වරයාගේ අතට පත්ව තිබුණේය.
මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන තීරණයක් ගත යුතුව තිබුණි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තරග කළ යුතු බවට යෝජනා කළේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය. ඒ.එච්.එම්. ෆවුසි ඇමැතිවරයා එය ස්ථිර කළේය. ඊට පසුදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවද රැස්විය. එහිදී යෝජනා කළේද මහින්ද රාජපක්ෂ නැවත වරක් ජනාධිපතිධුරයට තරග කළ යුතු බවය.
පසුගිය සතියේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරණය කැඳවීමට අදාළ කිසිවක් ප්‍රකාශයට පත්වී තිබුණේ නැත. සාමාන්‍ය පරිදි කැබිනට් පත්‍රිකාවලට අනුමැතිය ලබාගත් අතර වැඩි දේශපාලන කතා නොකිරීමට මැති ඇමැතිවරු වගබලාගෙන තිබුණි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂයට එක්වන බව සැලවූ විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුද කලබලයට පත්වූහ. ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි පැහැදිළි කළ යුතු බව ආණ්ඩුවේ පාර්ශවකාර     පක්ෂවල ස්ථාවරය විය. ඒ අනුව සුසිල් ප්‍රේම්ජයන්ත, විමල් වීරවංශ, මහාචාර්ය තිස්ස විතාරණ, ගීතාංජන ගුණවර්ධන ඇතුළු සන්ධානයේ පාර්ශවකාර පක්ෂවල   නායකයෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිය ස්ථාවරය පැහැදිලි කළහ.
එපමණක් නොව සිකුරාදා සවසම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අරලියගහ මන්දිරයට කැඳවූහ. ඒ ඉදිරි වැඩපිළිවෙළ  ගැන සාකච්ඡා කිරීමටය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබුණේ මේ රැස්වීමේදී ආණ්ඩුවෙන් ඉවත් වන තවත් අයෙක් සිටීනම් ඒ ගැන අදහසක් ලබාගැනීමට හැකියාව ලැබෙන බවය.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේදී සිය දේශපාලන තීරණය ප්‍රකාශය පත් කරනු ඇතැයිද සදහන්ය. ඔවුන් ඉදිරි දින කිහිපය තුළදී එම දේශපාලන පමි පනිනු ඇතැයි තහවුරු කළ ආරංචිමාර්ග සදහන් කරයි.
හෙළ උරුමයත් ඉවතට
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ පසුගිය කාලයේදී ආණ්ඩුව සමග සිටියේ එතරම් හිත හොඳින් නොවේ. ජාතික නිදහස් පෙරමුණ, වමේ දේශපාලන පක්ෂ හා ජාතික හෙළ උරුමය ඒ අතර විය. එම පක්ෂ වෙන් වෙන් වශයෙන්් ආණ්ඩුවට වෙනම යෝජනාවලීන් ඉදිරිපත් කර තිබුණි. කෙසේ නමුදු ජාතික නිදහස් පෙරමුණ හා වමේ දේශපාලන පක්ෂ ආණ්ඩුව සමග පැවැති සාකච්ඡාවලින් පසුව තීරණය කළේ ආණ්ඩුවට සහය දීමටය. එහෙත් ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ කරුණු තිස්පහකින් යුත් යෝජනාවලට ආණ්ඩුව එක්වරම කැමැත්ත දැක්වූයේ නැත. ඒ යෝජනාවලිය පිළිබද තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය විය. ඒ අනුව හෙළ උරුමයත් ආණ්ඩුවේ නියෝජිතයිනුත් සාකච්ඡා වට කිහිපයකට එක්වූයේ මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සමග වැඩිදුරටත් සාකච්ඡා කර අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමේ එකඟතාවයට පැමිණියේය.
ඒ අනුව හෙළ උරුමයේ යෝජනාවලිය ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පෙරුම හා මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව ලිඛිත ප්‍රතිචාරයක් ලබාදී තිබුණේය. හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අතට එම ප්‍රතිචාර ලිපිය දී තිබුණේ පසුගිය සිකුරාදාය. රහසිගත ලිපියක් ලෙස දී තිබූ එම ලිපියේ සඳහන්ව තිබුණේ හෙළ උරුමයේ යෝජනාවලිය ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවය. ඒ නමුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟ බව එහි සඳහන්ව තිබුණේ නැත.
ආණ්ඩුවේ ප්‍රතිචාරය තමන් අතට පත්වීමෙන් පසුව ජාතික හෙළ උරුමයේ නායකයෝ එක්වී ආණ්ඩුවේ ප්‍රතිචාරය ගැන සාකච්ඡා කළහ. මේ යෝජනාවලියට පක්ෂයක් ලෙස දක්වන ප්‍රතිචාරය ගැන අවසන් තීරණයක් ගැනීමට පක්ෂයේ උත්තරීතර මණ්ඩලය, ගිහි උපදේශක මණ්ඩලය හා මහජන නියෝජිතයින් ඒකාබද්ධව රැස්වූයේ පසුගිය සඳුදා සවසය. එහෙත් හෙළ උරුමයේ කැපී පෙනෙන එක් චරිතයක් මෙයට පැමිණ සිටියේ නැත. ඒ පක්ෂයේ නීති උපදේශක උදය ගම්මන්පිලය. ඇමැතිවරයා අසනීප තත්ත්වයක් නිසා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කළ නිසා ඔහුට එහි පැමිණීමට නොහැකි විය.
සිය යෝජනාවලියට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ ජාතික හෙළ උරුමය තීරණය කළේ සිය යෝජනාවලියට ආණ්ඩුව දක්වා ඇති ප්‍රතිචාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බවය.  ඒ අනුව ආණ්ඩුවේ සියලුම තනතුරුවලින් ඉවත් වීමටද තීරණය විය. සඳුදා සවස ජාතික හෙළ උරුමය මේ තීරණය ගත්තත් එය ප්‍රසිද්ධියට පත් නොකිරීමට ගිවිස ගත්තේය. සිය තීරණය රහසිගතව තබාගත්තේ පසුදා පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එය ප්‍රකාශයට පත්කිරීමටය.
“ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්ව ප්‍රතිචාරය පිළිබඳ
අපි සෑහීමකට පත්වන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. වෙනම පක්ෂයක් ලෙස ජාතික හෙළ උරුමය කටයුතු කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විනය නීතිවලට අපි යටත් වෙන්නේ නෑ” හෙළ උරුමයේ තීරණය ප්‍රකාශයට පත් කරමින් පාඨලී චම්පික රණවක දැනුම් දුන්නේය.
‍පොදු
අපේක්ෂකයාද? බොදු අපේක්ෂකයාද?
ආණ්ඩුවෙන් ඉවත් වුවත් ජාතික හෙළ උරුමයේ සහය හිමිවන අපේක්ෂකයා   කවුරුන්ද යන්න මතෛක් ප්‍රකාශයට පත් කර නැත. හෙළ උරුමය පවසන්නේ සිය යෝජනාවලියට සහය ලබාදෙන ඕනෑම අයෙකුට සිය සහය හිමිවන බවය.   අපේක්ෂකයාට
වඩා වැදගත්වන්නේ ප්‍රතිපත්ති බව හෙළ උරුමයේ විශ්වාසයයි. ඒ අනුව හෙළ උරුමය තමන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ. එහි ආරම්භය සනිටුහන් වූයේ මහානායක
හිමිවරු හමුවෙමින්ය. හෙළ උරුමයේ නායකයෝ පසුගිය බ්‍රහස්පතින්දා උදෑසනම දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබාගත්හ. ඉන්පසුව අස්ගිරි මල්වතු මහ නාහිමිවරු හමුවීමට ගියේ රන්පත්වල විමලරතන හිමියන්, පාඨලී චම්පික රණවක, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,  ඇතුළු පිරිසකි.
ඔවුහු පළමුවෙන්ම මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල මහා හිමියෝ හමුවූහ.
“හොරකම් කරන්නේ නැතිව අමාත්‍යාංශ කරගෙන යන්න බෑ කියනවානේ, ඒත් අපි හොරකම් කරන්නේ නැතිව අමාත්‍යාංශ කරන හැටි පෙන්නුවා. ඒත් වැඩිදුර කරගෙන යන්න බෑනේ” පාඨලී පැහැදිලි කළේය.
“ඔබතුමාලට ඒවා කරගෙන යන්න දුන්නේ නෑනේ. ඔබතුමන්ලා මුහුණ දුන් තත්ත්වය අපිට තේරුම්ගන්න පුළුවන්. අපි විධායක ජනාධිපති ක්‍රමය ගැන අදහස් දැක්වුවා. ඒත් ආණ්ඩුව ඒවා ඇහුවේ නෑ. අඩුම තරමේ විහාර දේවාලගම් පනත ගේන වෙලාවේවත් අපෙන් ඒ ගැන ඇහුවේ නෑ” මල්වතු නායක හිමියෝ පැහැදිලි කළහ.
ඉන්පසුව ඔවුහු අස්ගිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ හමුවූහ. හෙළ උරුමය විසින් ඉදිරියේදී හොඳ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව උන්වහන්සේ හෙළ උරුමයේ නියෝජිතයින්ට කීහ.
අස්ගිරි මල්වතු නායක හිමිවරු හමුවීමෙන් පසුව හෙළ උරුමය දැන් වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබේ. ඒ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන්නේ කාටදැයි යන්න තීරණය කිරීමටය. මේ වන විට හෙළ උරුමය පාර්ශ්වයෙන් අදහස් දෙකක් මතුවෙමින් තිබේ. එකක් වන්නේ ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටය. අනෙක වන්නේ බොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමටය. කෙසේ වෙතත් ඉදිරි සතිය වන විට සිය සහය හිමිවන අපේක්ෂකයා කවුරුන්දැයි හෙළ උරුමය විසින් තීරණය කරනු ඇත.
රතන හිමිගේ විහාරය වටලයි
ජාතික හෙළ උරුමයේ දේශපාලන තීරණ ගැන පසුගිය කාලයේදී මුලින්ම අදහස් දැක්වූයේ අතුරලියේ රතන හිමියෝය. පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කිරීමට අදහස් මතුකළේ උන්වහන්සේයි. හෙළ උරුමයේ ඇමැතිවරු ඇමැති ධුර අතහැරීමට දින කිහිපයකට පෙර ආණ්ඩුවේ තනතුරුවලින් මුලින්ම ඉල්ලා අස්වූයේ රතන හිමියෝය. හෙළ උරුමයේ තීරණ ගැන පෙර ලකුණු පෙන්වා දුන් රතන හිමියන්ගේ රාජගිරියේ පිහිටි අසපුව අසලට බ්‍රහස්පතින්දා උදෑසන සංවිධානාත්මක පිරිසක් පැමිණියහ. ඔවුන් පැමිණියේ විරෝධතා පුවරු රැගෙනය. අක්කර පහකට ආසන්න එම ඉඩම නොමැති ජනතාවට ලබාදෙන්නැයි කියමින් ඔවුහු විරෝධය දැක්වූහ.
විරෝධතාව පැවැත්වෙන අතරවාරයේදී එතැනට පැමිණියේ කෝට්ටේ නගරාධිපති ජනක රණවකය. මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ‍පොරොන්දු වීමෙන් පසුව විරෝධතාකරුවෝ විසිර ගියහ. විරෝධතාකරුවන් මේ ඉඩම ඉල්ලා සිටියේ එය ආණ්ඩුව විසින් රතන හිමියන්ට ලබාදුන් ඉඩමක් වන නිසාය.
“මේ ඉඩම සඟසතු කර පූජාකරන ලද ඉඩමක්. මෙය මගේ පුද්ගලික ඉඩමක් නොවෙයි. මෙය සඟ සතු දේපළක්. මෙය දුන්නා කියලා හැමදාම එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දිය යුතු යැයි නියමයක් නෑ” විරෝධතාකරුවන් පැමිණ සිටින බව සැලවූ විට රතන හිමියෝ ස්ථිරසාරව ප්‍රකාශ කළහ.
සජිත් සෝභිත හිමියන්ට කී දේ පසුගියදා මුත්තයියා ක්‍රීඩා පිටියේ පැවති දේශපාලන රැස්වීම අතරතුර සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ මාදුළුවාවේ සෝභිත නාහිමියන් අතර පැවති කෙටි පිළිසඳරේදී සෝභිත හිමියන් විසින් පෞද්ගලිකවම කරන ලද ඇරයුම පරිදි සජිත් සෝභිත හිමියන් බැහැදැකීමට කෝට්ටේ ශ්‍රී නාගවිහාරයට ගියේ රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාළද කැටිවය. එහිදී සෝභිත හිමියන් පළමුව අවධානය යොමු කළේ පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැදගත්කම පිළිබඳවය. සජිත් අදහස් පළ කරමින් කීවේ “ඒ ගැන තර්කයක් නෑ නායක හාමුදුරුවනේ. ඒ වගේම අද මේ රටේ මිනිස්සුන්ගේ දුප්පත්කම, බඩගින්න බරපතල ප්‍රශ්නයක්. ඊට ලබා දෙන විකල්ප විසඳුම් ගැනත් ජනතාවගේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි” කියාය. ඊළඟට අවධානය යොමු වූයේ ‍පොදු අපේක්ෂකයා තෝරා ගැනීම පිළිබඳවය. සජිත් එහිදී සිය ස්ථාවරය පැහැදිලි කරමින් කීවේ තමන් 2012 සිටම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුය යන මතයේ සිටි බවත්, ඔහු ඉදිරිපත් වන්නේ නම් සිය සහයෝගය ඔහු වෙත ලබා දීමට තීරණය කර ඇති බවත්ය. “ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ මාස 6 කින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ‍පොරොන්දුවෙලයි. ඒ ‍පොරොන්දුව අකුරටම ඉටු කරන බවට විශ්වාසය තැබිය හැකි කෙනෙක් අපේක්ෂකයා හැටියට අපි තෝරා ගත යුතුයි. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් කැපවෙන බවට මහා සංඝරත්නය ඉදිරියේ අත්සන් තබා පහුවදාම ඒ සටන පාවා දී නායකත්ව මණ්ඩලයට ගිය පුද්ගලයෙක් ගැන කොහොමද විශ්වාස තියන්නේ ? ඔහුට නම් මගේ කිසිම සහයෝගයක් ලැබෙන්නෙ නෑ” සජිත් කෙළින්ම කීවේය.
පසුගිය සතියේ සජිත් කළ ප්‍රකාශයකින් කියවුණේ ආණ්ඩු පක්ෂයේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘතව ඇති බවයි. මේ ප්‍රකාශයෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් කීප දෙනෙකුම සජිත් අමතා කතා කිරීම අනපේක්ෂිත දෙයක් විය. එහෙත් ඔවුන් කෙළින්ම සජිත්ගේ ජංගම දුරකථන අංකයට කතා නොකොට වෙනත් ජංගම දුරකථන අංකයක් ඔස්සේ සජිත් ඇමතීමටද පරිස්සම් විය. “අපට දැන් මෙහේ ඉඳලා ඇති වෙලා. අපි අනාගත හැරවුම් ලක්ෂය හැටියට දකින්නේ ඔයා රනිල් වික්‍රමසිංහ නායකතුමා සමඟ ඉදිරියට යන ගමනයි. ඔයා අපට ඇරයුම් කිරීම ගැන සතුටුයි. අපි ආවොත් ඔයා අපිව බලා ගන්නවාද ?” ඔවුන් කවුරුත් පාහේ කීවේත්, ඇසුවේත් එකම දේය. සජිත් කීවේ “කිසි දේකට බය වෙන්න එපා මම ඒ ගැන සහතික වෙනවා. මතකනේ එදා මගේ තාත්තා ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ආපු ඔසී අබේගුණසේකර මැතිතුමාට දීපු රැකවරණය... සළකපු ආකාරය... ඒ දේශපාලන මගේ ‍ලේ වලත් තිබෙනවා. මේක අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. ඒක පැහැර හරින්න එපා” කියාය.
මර්වින් අවදිවෙයි
කලක් නිශ්ශබ්දව හුන් ඇමැති මර්වින් සිල්වා මේ දිනවල යළිත් වරක් පුවත් මවන චරිතයක් වී තිබේ.
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍යාංශයේ අයවැය විවාදයේ දී ඔහු විපක්ෂයට ආරාධනාවක් කළේය. “අද මම විපක්ෂය අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙනවා” ඇමැතිවරයා එසේ කියනවාත් සමග සුනිල් හඳුන්නෙත්ති අසුනෙන් නැගී සිටිමින් ප්‍රශ්නයක් විමසුවේය. “ඔබතුමා කැලණියේ දී ප්‍රශ්නයක් වෙලා තිබුණු බාර් එකක් වහලා විසඳුමක් දුන්නා ආණ්ඩු බලය ඔබතුමාට තියෙන නිසා. අර ජටාලතිස්සගේ මීමුත්තගෙන් පස්සේ කැලණිය හදන්න ආවේ ඔබතුමාද කියලා අපිට හිතෙනවා. එහෙම තියෙද්දී ඇප දිය හැකි නඩු නිමිත්තකට ඔබතුමාලගේ ආණ්ඩුවක් තිබිලා ඔබතුමාගේ පුතාට ඇප ගන්න බැරි ඇයි” හඳුන්නෙත්ති ඇසීය. “මම රාජ්‍ය බලය නැති කා‍ලේ  බෙලිඅත්තේ කරපු වැඩ ඔබතුමා ගිහින් අහන්න. හැබැයි ඔබතුමාට වෙලාවක් තියෙනවා නම් මාව මුණ ගැහෙන්න. මම සියලු තොරතුරු ඔබතුමාගේ  කනට කොඳුරලා  කියන්නම්.” මර්වින් සිල්වා කීවේය. මෙතුමා කනට කොඳුරා කිව්වේ  නැතත් කියන්න  හදන්නේ මොකද කියලා තේරුම් ගන්න පුළුවන්” හඳුන්නෙත්ති අසල සිටි මන්ත්‍රීවරයෙකුට පැවැසීය.
සංජය නල්ලපෙරුම

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score