Oct 7, 2014

සෙනසුරු මාරුවට තව ඇත්තේ හරියටම මාසයකි. තවත් දින 4කින් එනම් එළැඹෙන නොවැම්බර් මස 2 වැනි ඉරු දින රාත්‍රි 9.05ට සෙනසුරු ග්‍රහයා වසර 30කට පසු තමාට සුබ රාශියක් වූ තුලා රාශියේ සිට තමාට සතුරු රාශියක් වන කුජ හිමි වෘශ්චික රාශියට පැමිණේ.
ග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයකු වන දුකට අධිපති ලෙස ජේ‍යාතිෂයේදී හඳුන්වනු ලබන ශනි ග්‍රහයා තිස් වසරකට පසු වසර දෙකහමාරක කාලයක් තුළ රාශියේ උච්චව සුබව ගමන් කර තවත් මාසයකට ආසන්න කාලයකින් තම සතුරු රාශිය වූ වෘශ්චිකට පා තැබීමට නියමිතයි. එනම් හරියටම 2014 නොවැම්බර් මස 2 වැනි දින ශනිගේ ගමනාන්තයට ඔහු ළඟා වනු ඇත.

අප සමාජයේ ජීවත් වන බහුතරයක් දෙනා සෙනසුරුට දක්වන්නේ ඉමහත් බියකි. එයට හේතු වී ඇත්තේ ශනි ග්‍රහයා නිරන්තරයෙන් මිනිසාගේ ජීවන ගමන වෙනස් කිරීමට ප්‍රමුඛ වන ග්‍රහයකු නිසාය. නමුත් පරිණත මිනිසකු බිහිකරන්නේද සෙනසුරු විසිනි. ඒ ශනි ලෝකෝත්තර ග්‍රහයකු නිසා ලෞකික ජීවිතයේ ඇති නිස්සාරත්වය මනාවට ජන්මියාට පසක් කර දීමට සෙනසුරු මූලික වන බැවිනි. මෙම ග්‍රහ මාරුව අප රටට මෙන්ම ලෝකයටද එතරම් සුබවාදී නොවනු ඇත. ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දරයේ ලග්නාධිපතිත්වය දරන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ලග්නයෙන් 10 වැන්නේ සතුරු රාශි ගත වීමත් මේෂ ලග්න ලෝකායතන කේන්දරය තුළ අට වැන්නේ සතුරු රාශි ගතවීමත් අප රට හා ලෝකය සම්බන්ධයෙන් ගත්කල එතරම් සුබවාදී නොවනු ඇත.


පාපී ග්‍රහයා
අප සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නව ග්‍රහයන් ප්‍රධාන කොට ගනිමින් ජේ‍යාතිෂ ශාස්ත්‍රයේදී පලාපල විමසනු ලබනවා. පෘථිවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ඡායා ග්‍රහයන් දෙපළ වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා.
එහිදී සඳු දින දෙකහමාරකදී රාශියක් මාරු කරන අතර රවි, කුජ, බුධ, සිකුරු යන ග්‍රහයන් මාසයක් හෝ දින 45ක කාලයකදී රාශි මාරු කරන අතර ගුරුත් රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරු කරනු ලබනවා. ඒ අතරින් ජේ‍යාතිෂයේදී පාපී ග්‍රහයකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරු කරනු ලබන්නේ වසර දෙකහමාරක පමණ කාලයකදීය. එය අපට බලපෑම් කරන ග්‍රහයන් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්වභාවධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා.


ඉතා දැඩි ලෙස පවට දඬුවම් කරන සෙනසුරු පව අවබෝධ කරගෙන පවින් වැළැකෙන මිනිසුන්ට ඉතා දැඩි ලෙස සුබපල උදාකරනු ඇත.
පව්කාරයන්ට දඬුවම්
වර්තමානය ජනමාධ්‍ය තුළ අප නිරන්තරයෙන් අසන දකින පුවත් තුළ වැඩිමනක්ම ඇත්තෙ සෙනසුරුගේ ක්‍රියාකාරකම්ය. මා එසේ පවසන්නේ මිනීමරුවන්ට, කොල්ලකරුවන්ට, රාජ්‍ය දේපළ සොරකම් කරන පුද්ගලයන්ට, කාමාතුරයන්ට, මත්ද්‍රව්‍ය හා සමාජය විනාශ කරන දේ විකුණමින් අනාගතය විනාශ කරන්නටය, මවුපියන්ට වැඩිහිටියන්ට නොසලකන්නන්ට, ආගම දහම, සංස්කෘතිය, පිළිනොගන්නන්ට, සමාජ විරෝධීන්ට මෙන්ම විවිධ අකටයුතු කරමින් සමාජය නොමඟ යවන්නන්ට හා හොර බොරු කපටි පුද්ගලයන්ට තම වාරය පැමිණි කල සෙනසුරු නිසි දඬුවම ලබා දෙන ආකාරය අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.


ඒ ආකාරයෙන්ම ලෝක ඉතිහාසයේ හිට්ලර් පමණක් නොව මෑත ඉතිහාසයේ සදාම් හුසේන්, හුස්නි මුබාරක්, සේම මුහමඩ් ගඩාපි ආදී රාජ්‍ය නායකයන්ගේ සිට බින් ලාඩන්, ප්‍රභාකරන් ආදී ත්‍රස්තවාදී නායකයන්ගේද ජීවිත අතීතය හා අවසානය විමසිලිමත්ව සන්සන්දනය කර බැලීම තුළින් සෙනසුරුගේ තරම අපට මනාව වටහා ගැනීමට හැකියාව ඇත. එසේම අප බෞද්ධ ඉතිහාසයේ අංගුලිමාල වැනි මිනීමරුවන්ට ඛේදජනක අවසානයක් අත්නොවූවේ පව හඳුනාගෙන පවින් මිදී පිනට බර වූ නිසාය. අද ද අපට මෙවන් බොහෝ අවස්ථා දැකගත හැකිය.


බුද්ධිමත් වෙන්න
ඒ කෙසේ වෙතත් සෙනසුරු යනු නවග්‍රහ මණ්ඩලයේ නවග්‍රහයන් අතරින් තවත් එක් ග්‍රහයකු පමණි. එම නිසා සෙනසුරු මාරුව කියූ පමණින් ඒ පිළිබඳ අප බිය විය යුතු නැත. මෙම කිසිදු ග්‍රහ මාරුවක් තුළින් කිසියම් වූ පුද්ගලයකුට කිසිදු ලෙසකින් එක සමාන ආකාරයෙන් බලපෑම් ඇති නොකරයි. ඒ නිසා සෙනසුරු කියූ පමණින්ම අප කලබල විය යුතු නැත. ඒ සඳහා අප කළ යුත්තේ බුද්ධිමත්ව මුහුණදීමයි.
වර්තමාන සමාජය තුළ ජේ‍යාතිෂයට ඇති අති මහත් වූ උනන්දුවත් ඒ පිළිබඳ ඇති මාධ්‍යමය ආකර්ෂණයත් ජනතාවට ප්‍රශ්න හා ගැටලු වැඩි වීමත් හේතු කොටගෙන අද වන විට මෙම ග්‍රහ මාරු පිළිබඳ හා ජේ‍යාතිෂය පිළිබඳ සමාජයේ ජනතාව තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ. යම් පුද්ගලයකු පූර්ව ආත්මයේ කළ කී කුසල හා අකුසල කර්ම හේතුකොටගෙන ඔහුට ජේ‍යාතිෂය අනුව අපල හෝ සපල කාලයකට මුහුණදීමට සිදුවනු ඇත. එය යථාර්ථයයි. ග්‍රහ තාරකාවන්ට අප පාලනය කළ නොහැකි අතර එම ග්‍රහයන් අපට සංඥා ලබාදෙනු ලබයි. එය මනාව තේරුම්ගෙන ශේ්‍රෂ්ඨ බුදු වදනට අනුව දැහැමිව පන්සිල් රකිමින් අධිෂ්ඨානයෙන් හා ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්නේ නම් අපට ලබාගත නොහැකි ජයග්‍රහණයක් නොමැත.


චන්ද්‍රයො නවදෙනයි
සෙනසුරු නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. තාරකා විද්‍යාවට අනුව බැලූ කලද සෙනසුරු සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන ප්‍රමාණයෙන් විශාල ග්‍රහ ලෝකයකි. එසේම උණුසුම් ග්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ. ජේ‍යාතිෂයට අනුව බැලූ කල නවග්‍රහයන් අතරින් ඉතා පීඩාකාරී හා බරපතළ තීන්දු ගන්නා ග්‍රහයකු ලෙස හඳුන්වා දීමට හැකිය. රක්ත වර්ණ දෑසක් තිබෙන පාපී ග්‍රහයකු නිසා ශනි ග්‍රහයා දෙවියකු ලෙස නොසලකන අතර දෙවියකුගේ ස්වභාවය අනුකම්පා සහගත හා සාධාරණ වීම නමුත් සෙනසුරු එසේ නොකරයි. අකුසලයට හෙවත් අපලයට දඬුවම් දීමේදී සාධාරණකමක් තිබිය යුතු නමුත් විටෙක මෙම ග්‍රහයා එසේ නොවන අවස්ථාද අප කොතෙකුත් දැක ඇත.


මකර හා කුම්භ යන රාශිවලටද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලද හිමිකාරිත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්ච වී මේෂ රාශියේදී නීච වෙයි. සූර්යයාගේ සිට සැතපුම් 8,86,779,900ක මධ්‍යයන දුරකින් පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ විෂ්කම්භය සැතපුම් 76,500වෙයි. භ්‍රමණ වේගය පැයට සැතපුම් 21,221ක් වෙයි. සෙනසුරු වටා චන්ද්‍රයන් 9ක් සිටින අතර එය වෙනත් ග්‍රහයන්ට නොමැති විශේෂත්වයකි. විස ධූම වළලු 7ක් සෙනසුරු වටා ගමන් කරනු ලැබෙයි. එබැවින් සෙනසුරුගෙන් නිකුත් කරනු ලබන කිරණ පෘථිවියට ලැබෙන්නේ අසුබ කිරණ වශයෙනි. පැය 10 විනාඩි 2ක් තුළ තමා වටේ භ්‍රමණය වන බැවින් සෙනසුරුගේ සෑම පැතිකඩක්ම පෘථිවිය මත සෑම පැය 24කටම 2වරක් පතිත වෙයි.


අපල වැඩි
පසුගිය වර්ෂ දෙකහමාරක් තුළ සිය උච්ච රාශියේ ගමන් කළ සෙනසුරු හෙවත් ශනි සිය සතුරු රාශියට පැමිණීම අපගේ රටට මෙන්ම පොදුවේ ලෝකයටත් සමස්ත ලෝකවාසී ජනතාවටත් අප රට අරබයා ගත් කල අප රටවාසී ජනතාවටත් එතරම් සුබදායක නැත. 2014 නොවැම්බර් 2 දිනෙන් ආරම්භ වන මේ ග්‍රහ ගමන තුළ ලංකාවාසී අපටත් විවිධ අපල උපද්‍රවයන්ට ලක්වීමේ ප්‍රවණතාවක් මෙම ශනි මාරුව තුළ දක්නට ඇත. ලග්න කීපයකට සුබපල උදා කළත් බහුතර ලග්නවලට අසුබ පල උදාවනු ඇත. මෙහිදී සෙනසුරු මහ දශා, අතුරු දශා, ලග්න, චන්ද්‍ර හෝ අෂ්ටම ඒරාෂ්ටකයන් නිසා සිදුවන පීඩා කරදර ආදී වශයෙන් විවිධ පීඩාවන්වලට මුහුණදීමටත් සිදුවේ. සියලු ලග්නවල ශනි ග්‍රහ හා අනෙකුත් ග්‍රහ පිහිටීම් අනුව ඒ ඒ ලග්න හිමියන්ට පොදුවේ විවිධ ආකාරයේ සුබ අසුබ මිශ්‍ර ප්‍රතිඵල ලැබීමේ හැකියාව පවතී.


ලස්සන ග්‍රහයෙක්
සෙනසුරු ග්‍රහයා ඉරුගේ පුත්‍රයාය. පෘථිවියට වඩා සැතැපුම් කෝටි ගණනකටත් වඩා අෑතින් පිහිටි ග්‍රහයෙකි. ශරීරය නිල් පාට, රතු ඇස් ඇති බොල්ලෑ දත් ඇති කෙට්ටු ශරීරයක් ඇති අයකු වන අතර මොහුගේ වාහනය කපුටෙකි. ග්‍රහ මඬුල්ලේ පාපියා වුවද ලස්සනම ග්‍රහයාද මොහුය. සූර්යයා වටා අෑතින්ම ගමන් කරන මොහු වටා නයිට්‍රජන් හා මීතේන් නමැති විෂ වායුවකින් යුත් රශ්මි වළල්ලකින් දස දෙස කිරණ විහිදුවයි. පැරැණි සෘෂිවරුන් ජේ‍යාතිෂය අනුව මේ ශනි ග්‍රහයාගෙන් බලපාන සිදුවන විපාකයන් මේ ලෙස හඳුන්වා ඇත. දුක් විඳින්නා තව තවත් දුකට පත් කොට දුක් වින්දවීම, අවාසනාව, දුප්පත් කිරීම, අසලකම, කම්මැළිකම කරන හැම දේටම බාධා පැමිණවීම, හිතේ ධෛර්ය නැති කිරීම, සමේ දද, කුෂ්ඨ, වණ හා විශේෂයෙන් වම් කකුලේ ආබාධයන් ලෙස සුව නොවන තුවාල, ඇටකටු කැඩීම, තැළීම්, පොඩිවීම්, හදිසි අනතුරුවලට පත්කිරීම් වැනි අබල දුබලතාවන්ට ලක්කිරීමට හා විවාහ බාධා හා විවාහ වී නම් ඒවා වෙන් කිරීමට මොහු ගජ හපනෙකි.


එමෙන්ම සමාජයෙන් කොන්කර නින්දා අපහාස ගෙනදීම, තනතුරු හා රැකියා අහිමි වීම, තමා සතු වස්තුව හා දේපළ අහිමි වීම, ධන හානිය, අනුන්ට අත පෑමට සිදුවීම කේන්දර පරීක්‍ෂාවෙන් හෙළිවේ. එහෙත් මකර ලග්න, කුම්භ, තුලා ලග්න හිමි අයකුට සෙනසුරා සුබ පල උදාකරන බවත් තුලා ලග්න හිමි අයකුගේ කේන්දරයේ පළමුවැන්නේ ශනි ග්‍රහයා තැන්පත්ව සිටි විට "සස" යෝගය යෙදීම නිසා ශනිගේ මහ දශා අන්තර් දශා ගත කරන කාලවල ධන, වස්තු සම්පත් මිල මුදල් යාන වාහන ගේ ‍ෙදාර ඉඩකඩම් ලබාදී උසස් තලයට ඔසවා තබන බවත් කේන්දර පරීක්‍ෂාවේදී පැහැදිලි වේ.


දීර්ඝායුෂ ඇති අයට
එමෙන්ම සෙනහුරාගේ ඒරාෂ්ටකය වසරකට දෙවරක් මුළු ජීවිත කාලය තුළදීම ලැබීමට පුළුවන. නමුත් තුන් වරක්ම ලැබෙන්නේ දීර්ඝායුෂ විඳීමට ඇති අයට පමණයි. වසර 30ත් 35ත් අතර කාලය තුළ අප සැමටම පොදුවේ ලැබෙයි. යම් අයකු ඉපදෙන විට ශනි 12-1-2 යන භාවයක සිටියේ නම් ඔහු සෙනසුරු ඒරාෂ්ටකයෙන් ඉපදුණු අයෙකි. මේ ආකාරයට දීර්ඝව විස්තර පෙන්වා දී ඇත. කෙසේ හෝ ඒරාෂ්ටකයක් තුළදී දුක් විපත්, දුප්පත් වීම, පීඩිත වීම, අඳින ඇඳුම පවා නැති වීම, පවුලෙන් වෙන්වීම, ස්ථාන භූමියෙන් වෙන් වීම පිටව යෑම, දරු දැරියන්ගේ නම් ඉගෙනීමට බාධා පීඩා ඇතිව කැඩී යෑම, අංශභාග, කොර, කුෂ්ඨ ආදී ජරා රෝගයන් හැදී අංශභාගයන් ඇතිකර ඔත්පළ කරයි. ව්‍යාපාර බංකොළොත් වීම, කලකෝලාහල නඩු හබවලට පැටලී හිරේ විලංගුවේ වැටේ. අති භයානක මරණ, මාරක අනතුරුවලට ගොදුරු වේ.


සෙනසුරු ලග්නයට ගිය විට අතපය ඉදිමීමද, මඟහැර යෑමද, පියාගේ බඩේ ලෙඩක් ඇත කීමද යනුයි. ලග්නයෙහි සිටි චන්ද්‍රයා දුටි නම් අණ්ඩවාත රෝගද ඇතිවේ. සෙනසුරා දෙවැනි රැසට ලෙඩ වස්තුද හානි වීම, තැනින් තැන පදිංචි වීමද සෙනසුරු තැන්වැනි රැසට රන්, රිදීද, ශාස්ත්‍රද ප්‍රසිද්ධ වීමද ඇතිවේ. හතර වැනි රැසේදී මවුපියන්ට, නෑයයන්ට දිළිඳු බවද, නඩු පනත්වල පැටලීමද, පස්වැනි රැසේදී පියාට හා මවට අපලද, සහෝදර ආදී දරුවන්ටද විකල්ප ඇතිවීමද, ප්‍රධාන වස්තුව නැති වීමද, සෙනසුරු හය වැන්නදී සැප සම්පත් ලැබීම, ශාස්ත්‍රවන්තද, ගම් බිම් ගැනද කඳු රැලි ස්ථානද ලැබේ. හතේදී සැප සම්පත් නැතිවී දරුවන්ට අපලද ශාරීරික ලෙදඩ ඇතිවේ. අට ලැබීමෙන් පිළිකා ලෙද අඹු දරු වෙන්වීම් හා සැප නැති වී විසීමට සිදුවේ. නවය ලැබීමේදී පව් කිරීම රුද්‍ර ගිනියම් ලෙඩ, ලෝකයේ ප්‍රසිද්ධියද, දහයේදී කීර්තිය හා ගවයන් බෝවීමද දරුපල අහිමි වීමද දැක්වේ.
එකොළහේදී ප්‍රසිද්ධ වේ. ධනවතෙක් වේ. ශාස්ත්‍රවන්ත වේ. ‍ෙදාළහෙදී නඩු පනත් වියවුල්, පාද රෝග, පියා අඩු කුලයකට හෝ නින්දාවකට හෝ පත්වීම යනුවෙන්ද කියැවේ. එනිසා සෙනසුරු මානව සංහතියට උපතේ සිට මිය යනතුරුම හොඳත් නරකත් ගෙනදෙන ප්‍රබල ග්‍රහයෙකි.


පරණ පව් ගෙවන කාලය
සෙනසුරු ස්වභායෙන්ම අඳුර නියෝජනය කරන ග්‍රහයාය. අඳුර හා පාපය සමාන්තරව ගමන් කරයි. පරණ පව්වලට වන්දි ගෙවන කාලය කෙනකුගේ සෙනසුරු දශා කාලයයි. බොහෝ විට වඩාත්ම අකුසලයට නැඹුරු වූවෝ ශනි දශා කාලයේදී දරුණු ඒරාෂ්ටක අපලවලට මුහුණදෙති. ඉතා සුපරික්‍ෂාකාරීව කෙනකුගේ මෙම දශා කාලය පිළිබඳ නිරීක්‍ෂණය කළොත් එම කාලයේදී කෙළවරක් නැති පීඩාවලට ගොදුරු වී ඇති ආකාරය අපට දැකගත හැකිය. වර්තමාන ජන සමාජය දෙස අවධානය යොමු කිරීමේදී මිනීමරුවන්, කොල්ලකරුවන් හා විවිධ අපරාධකරුවන් මුහුණදෙන ඛේදජනක අවස්ථා තුළින් සෙනසුරුගේ විපාක අපට හඳුනාගත හැකිය.
සෙනසුරු ප්‍රධාන නවග්‍රහ මණ්ඩලයේ ඒ ඒ ග්‍රහයන්ට අදාළ දෙවිවරු සිටිනා අතර ඒ අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාට අදාළ අධිපති දෙවියන් වහන්සේ වන්නේ ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන දෙවියන් වන ශ්‍රී විෂ්ණු දේවතාවුන් වහන්සේය. එම නිසා සෙනසුරුගෙන් වන පීඩා හා ග්‍රහ අපල වළක්වා ගැනීමට ශ්‍රී විෂ්ණු දේවතාවන් වහන්සේ උදෙසා පුද පූජා හා ග්‍රහ ශාන්තිකර්ම පැවැත්වීම ඉතාම සුබදායක වනු ඇත.


ශනිගේ බලපෑම
පොදුවේ අප රට සම්බන්ධයෙන් සිතා බැලීමේදී මෙම සෙනසුරු මාරුව තුළින් ඉදිරි කාලය තුළ විශේෂයෙන්ම දේශගුණ විපර්යාස ඇති වීමේ අවදානමක් දක්නට ලැබේ. විකෘති වූ කාලගුණ ස්වරූප මෙන්ම ගංවතුර, නාය යෑම්, ජලාශ පිටාර ගැලීම්, අධික සුළං තත්ත්වයද, නියඟයන්ද ඇතිවිය හැකිය. ඉදිරි කාලය තුළ අප රට සම්බන්ධයෙන් ගත් කළ දේශපාලනික ක්‍ෂේත්‍රයේ සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවනු ඇත. ජනාධිපතිවරණ ඇතුළු මැතිවරණ පැවැත්වෙනු ඇත. දේශපාලන පිල් මාරු නව දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් බිහිවනු ඇත. ජනතාවට ආර්ථික ප්‍රශ්න උග්‍ර වනු ඇත. විවිධාකාරයේ උද්ඝෝෂණ කම්කරු ව්‍යාපාරයේ නැඟිටීම් මෙන්ම සමාජ ගැටලු රාශියක් ඉදිරි කාලයේදී ඇතිවේ.
අපායේ හෝ ස්වර්ගයේ යතුර ඇත්තේ සෙනසුරු අතය. ඒ ශනි ග්‍රහයා පිළිබඳ ජනප්‍රිය කියමනකි. මෙම යතුරු දෙකෙන් ලබාගත යුතු යතුර තීරණය කළ යුත්තේ ඔබ විසිනි. මන්දයත් යහපත් වූ ධාර්මික ක්‍රියාවල අප යෙදුණු කල සෙනසුරු අපට නොපැකිළව ස්වර්ගයේ යතුර ලබාදෙනු ඇත. එහෙත් මා ඉහත දක්වන ලද පාප ක්‍රියාවල යෙදෙමින් අධාර්මික ජීවිතයක් ගත කරන කල අනිවාර්යයෙන්ම අපායේ යතුර අප වෙත ලැබෙනු නොඅනුමානයි. එය යථාර්ථය හා පරම සත්‍ය ලෙස අප වටහාගත යුතුය.
සෙනසුරු අපලයෙන් බේරීම සඳහා නොවරදින ගුණ ලබාදෙන අපල සපල කරන විශේෂිත පූජාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
මව්බිම පුවත් පතෙන් උපුටා ගන්නා ලදි 

0 comments:

Post a Comment

Thank you!You'll be received a answer soon if you have problem.

Time

ඔබේ කේන්ද්‍රය ඔබම හදා ගන්න

උපන් ලපයෙන් කියවෙන විස්තර

Categories

ගැසට් පත්‍රය බලන්න

Flag Counter

Advertisement

So Important

Advertisement

Like - facebook Page

සිහින පලා ඵල

අපගේ Blog එකේ Update වන සියලුම දේ දැන ගන්න

Get our toolbar!

Popular Posts

Live Cricket Score